පද්මසිරි ජයමාන්න මහතා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා අද පෙරවරුවේ රාජකාරි ආරම්භ කළේය. සිය තරුණ කාලයේදීම රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් ලෙස රාජ්‍ය සේවයට බැදුණු ජයමාන්න මහතා ප‍්‍රාදේශීය පරිපාලනයේ, දිස්ත‍්‍රික් පරිපාලනයේ මෙන්ම රාජ්‍ය අංශයේ විවිධ ආයතනවල වසර 35 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වේ. නීතිය හා සාමය අමාත්‍යාංශයට පෙර ඔහු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සේවය කළේය. දැනට රාජ්‍ය පරිපාලන සේවයේ සක‍්‍රීය සේවයේ යෙදෙමින් සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේද පද්මසිරි ජයමාන්න මහතා ය.

ධූරයේ රාජකාරි ආරම්භ කරමින් ඔහු අවධාරණය කළේ ශ‍්‍රී ලංකා පොලිස් සේවය දියුණු රාජ්‍යයන්වල මෙන් නවීකරණය කර මහජන මිත‍්‍රශීලී සේවයක් ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම සදහා ගෙනයනු ලබන ක‍්‍රියාවලිය සාර්ථකව අවසන්කළ යුතු බවයි. ඒ සදහා එක්ව කටයුතු කීරීමේ වැදගත්කම ඔහු පෙන්වාදුන්නේය. විශාල නිලධාරීන් සංඛ්‍යාවකින් යුක්ත ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් මුහුණ දෙන ගැටළුවලට නිසි විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ සේවා තෘප්තිය ඉහළ නැංවීමේ අවශ්‍යතාවත්, එමගින් කාර්යක්ෂමව හා ඵලදායි සේවයක් සඳහා දිරිගැන්වීම සදහා දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් ඇති පුළුල් වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව මෙන්ම භෞතික හා මානව සම්පත් සංවර්ධනය කරමින්, මහජන ආරක්ෂාව තහවුරු කරන, නීතිය හා සාමය සුරැකීමෙහිලා සමස්ත පුරවැසියන්ගේ ඇගයීමට ලක්වන විනයගරුක හා මානව හිතවාදී සේවයක් ලෙස පොලිස් සේවය ඉහළ නැංවීම කෙරෙහි අමාත්‍යාංශය සතුව ඇති වගකීම පිළිබදව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඵලදායී ක‍්‍රියාමාර්ග ගැනීමට මෙන්ම රටේ දක්ෂිණ ප‍්‍රදේශය සංවර්ධිත කලාපයක් බවට පත්කිරීමෙහිලා ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල දිස්ත‍්‍රික්කවල ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කිරීමත්, ඒ මගින් දක්ෂිණ කලාපයේ ආර්ථික සංවර්ධනය කෙරෙහි ගෙනයන විශේෂ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහිද ඔහු සිය අවධානය යොමුකළේය. මේ අතර ශ‍්‍රී ලංකාව සතු ජාතික උරුමයක් වන ගාලූ කොටුව සුරක්ෂිත කිරීම සදහා ක‍්‍රියාවට නගා ඇති ප‍්‍රතිපත්ති කාර්යක්ෂමව ඉටු කිරීම අප සතුව ඇති ප‍්‍රධානතම වගකීම් බව ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

වගකීම් සහගත කාර්යයන් ඉටුකිරීම සදහා ක්ෂේත‍්‍රයේ විවිධ අත්දැකීම් ඇති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, කාර්යමණ්ඩලයේ සහ අමත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සහයෝගය ලබාදෙන ලෙසද, එම වගකීම් නිසි පරිදි ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions